විශ්වය අප වෙත විවර වූ දිනය.
අද 2023 ඔක්තෝබර් 04. අදින් හරියටම වසර සියයකට පෙර 1923 ඔක්තෝබර් 04 වන දින රාත්‍රියේ තාරකා විද්‍යාවේ ඉතාම සුවිශේෂී සිදුවීමක් සිදුවුණා. එය විශ්වය වෙත අපගේ දෙනුවන් විවර කිරිමට සමත් වූවා පමණක් නොව සියවස් ගණනක් තිස්සේ විශ්වය පිළිබඳව අප තුළ වූ ගැටළු විශාල ප්‍රමාණයකට විසඳුම් ලබාදෙන්නටද සමත්වුණා.
මේ කතන්දරයේ හරි මැද සිටින පුද්ගලයා එඩ්වින් හබල්. මේ කතාංගය බොහෝ දුරට රඟදැක්වුණේ ඇමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ පිහිටි මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ.
ඔබ තාරකා විද්‍යාව හා ඒ සම්බන්ධිත ඉතිහාස සංසිද්ධි පිළිබඳව උනන්දු අයෙක් නම් මේ පළමුවන පින්තූරය මෙයට පෙර දැක ඇති. මේ 1923 ඔක්තෝබර් 04 වනදා රාත්‍රී එඩ්වින් හබල් විසින් මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ සුප්‍රසිද්ධ අඟල් සියයේ දුරේක්ෂය (Hundred Inch Telescope) හාවිතයෙන් ලබාගත් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියේ ජායාරූප පුවරුව. එහෙම නැතිනම් H331H ප්ලේට් එක. බොහෝ දෙනා හඳුන්වන පරිදි VAR! ප්ලේට් එක.
මේ VAR! ප්ලේට් එකේ සියවස් අනුසමරණය සැමරීම සඳහා මෙය ලබාගත් මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරය අයත් වන කානගී ආයතනය විසින් පැවැත්වූ දේශණයකට සවන්දීමට මාස කීපයකට කලින් මට හැකිවුණා. එහිදී අසන්නට ලැබුණු සිදුවීම් පිළිබඳව විස්තරයක් මෙම සිදුවීම් වලට සියවසක් ගෙවෙන අද දිනයේ අපේ භාෂාවෙන් ලියන්නට මට හිතුණා.
16 වන සියවස තාරකා විද්‍යාව පිළිබඳව අපගේ අවධානය වැඩි වශයෙන් යොමුවන්නට ආරම්භ වූ සමය. පොළව තවදුරටත් විශ්වයේ කේන්ද්‍රය නොවන බවත් එය හිරු කේන්ද්‍ර කරගත් පද්ධතියක එක් සාමාජිකයෙක් පමණක් බවත් අප තේරුම් ගත්තා.
මීට අමතරව විශ්ව ගවේෂණයේ විශාල පෙරළියක් සිදුකරන ලද සොයාගැනීමක් මේ සමයේම සිදුවුණා. ඒ දුරේක්ෂය.
දුරේක්ෂ භාවිතයෙන් අපගේ ආසන්න විශ්වය ගවේෂණය නිරන්තරයෙන් සිදුවන්නට පටන් ගත්තා. තාරකා, ග්‍රහලෝක, චන්ද්‍රයන් පමණක් නොව ග්‍රහක, වල්ගාතරු වැනි වස්තූන් දවසෙන් දවස අලුතින් සොයාගත්තා.
මේ වෙනවිට විශ්වයේ ප්‍රමාණය හා සීමාව ගැනත් විවිධාකාර මත පළවෙන්නට වුණා.
17වන සියවස වනවිට වල්ගාතරු සෙවීම ක්‍රීඩාවක් තරම් ප්‍රචලිත වෙලා තිබුණේ. ප්‍රංශ ජාතික චාල්ස් මෙසියර් මේ ආකාරයේ වල්ගාතරු සොයාගැනීමේ පුරෝගමියෙක්. තමන්ගේ දුරේක්ෂයෙන් වල්ගාතරු සොයන මේසියර් සුවිශේෂී දෙයක් නිරීක්ෂණය කළා. අහසේ විවිධාකාර හැඩයේ දුර්වල, බොඳවුණු වළාවන් වැනි කුඩා ආලෝක ලප ඔහු තැන තැන දුටුවා. මේවා තමා සොයන වල්ගාතරු නොවන බව මේසියර් දැන සිටියා. මේ ආලෝක ලප මොනවාද යන්න ඔහු නොදැණ සිටියත් ඒවා ලැයිස්තුගත කිරීමට ඔහු පෙලඹුණා. ඈත අවකාශයේ වස්තු හඳුනාගැනීමට අදටත් යොදාගන්නා මේසියර් අංකනය ආරම්භ වුණේ එහෙම.
මේ ගැඹුරු අවකාශ වස්තූන් අතර සමහරක් සර්පිලාකාර සුවිශේෂී හැඩයක් ගන්නා බව සමහරු නිරීක්ෂණය කළා. මේවා අපගේ තාරකා වළාව වැනිම "මන්දාකිණි දූපත් (galaxy islands) බවට සමහරුන් මත පලකළා.
17 වන සහ 18 වන සියවස් වලදී දුරේක්ෂ තාක්ෂණය සීග්‍රයෙන් දියුණු වෙන්නට වුණා. ප්‍රමාණයෙන් විශාල වගේම වඩත් බලවත් දුරේක්ෂ නිපදවුණා.
18 වන සියවසේ අවසාන යුගයේ කැලිෆෝනියාවේ ලික් නිරීක්ෂකාගාරයේ (LICC observatory) අධ්‍යක්ෂකව සිටි ජේම්ස් කීලර් (James Keeler) මෙම සර්පිලාකාර ආලෝක ලප නිරික්ෂණය කළා. එවන් වස්තූන් සිය ගණනක් පින්තූරගත කිරීමෙන් පසු මේවා මොනවාදැයි ඔහු නිගමනය කළා. ඔහුගේ නිගමනය වූයේ මේවා ගොඩනැගෙමින් පවතින සූර්‍ය ග්‍රහ මණ්ඩල බව.
සූර්‍ය ග්‍රහ මණ්ඩලයේ හටගැනීම පිලිබඳ සමහර විශේෂඥයන් ඉදිරිපත් කළ ආකෘති වලට කීලර්ගේ මේ නිරික්ෂණ හොඳින් ගැලපුණා. නමුත් 1900දී වයස 42ක් ව සිටියදී ජේම්ස් කීලර් මිය යෑම නිසා මේ පරීක්ෂණ ඇණහිටියා.
1910දී ලික් නිරීක්ෂණාගාරයේම සේවය කළ හීබර් කර්ටිස් (Heber Curtis) කීලර් ගේ පර්යේෂණ නැවත ආරම්භ කළා. ලික් නිරීක්ෂකාගාරය සතු වුණ විශාල දුරේක්ෂය මේ සඳහා භාවිතා කරන්නට කර්ටිස් අකමැති වුණා. මේ සඳහා ඔහු එංගලන්තයෙන් ගෙන්වාගත් "ක්‍රොස්ලි" නම් වුණු කුඩා දුරේක්ෂයක් යොදාගත්තා. ක්‍රොස්ලි යනු දර්පණයකින් යුත් පරාවර්තන දුරේක්ෂයක්. ඇමෙරිකාවේ බහුලව යොදාගත් කාච දුරේක්ෂ වලට වඩා වෙනස් සැකසීමක් තිබුණ ක්‍රොස්ලි භාවිතයෙන් කීලර් දුටු සර්පිලාකාර ආලෝක ලප දහස් ගණනක් කර්ටිස් නිරීක්ෂණය කළා.
මෙම සර්පිලාකාර ලප සමහරක කෙළවර අපගේ ක්ෂීරපථයෙහි මෙන්ම අඳුරු පථයන්ගෙන් යුක්ත වූ බව කර්ටිස් දුටුවා.මේ හේතුවෙන්ම මේ සර්පිලාකාර වස්තූන් අපගේ ක්ෂීරපථය වැනිම මන්දාකිණි වියහැකි බව කර්ටිස් සිතුවා. එමෙන්ම මේවායේද එක්වරම හටගන්නා ආලෝක ලප ඇතිවන බව කර්ටිස් දුටුවා. අපගේ ක්ෂීරපථයෙහි මෙවන් පිපිරීම් මෙයට පෙර නිරීක්ෂණය වී තිබුණා. විශාල තාරකාවන් සිය දිවිය අවසන් කරමින් ඇති කරන මෙවන් අතිවිශාල පිපිරුම් නෝවී (Novae) ලෙස හැඳින්වුණා.
නමුත් මේ සර්පිලාකාර මන්දාකිණි වල කර්ටිස් දුටු නෝවී අපගේ ක්ෂීරපථයෙහි දකින ඒවාට වඩා අඩු වශයෙන් ආලෝකමත් වූ ඒවා වුණා. මේ නිසාම මේ සර්පිලාකාර මන්දාකිණි අපගෙන් බොහෝ දුරකින් පවතින ඒවා වියයුතු බව කර්ටිස් සිතුවා.
මේ කාලය වනවිට අපගේ තාරකා විද්‍යාඥයින් ගණනය කර තිබූ පරිදි අපගේ ක්ෂීරපථයේ පළල ආලෝක වර්ෂ තිස්දහසක් පමණ. කර්ටිස් සිතූ පරිදි ඔහු දුටු නෝවී පිපිරීම් සිදුවන සර්පිලාකාර මන්දාකිණි එයට වඩා බොහෝ දුරින් පිහිටි ඒවා. එනම් ඒ මන්දාකිණි අපගේ ක්ෂීරපථයට එපිටින් පැවතුණ ඒවා. මේ අනුව කාලයක සිට පැවතුන galaxy island මතය කර්ටිස්ගේ නිරික්ෂණ ඇසුරෙන් තවත් තහවුරු වීමට ගත්තා.
කොහොම වුණත් කර්ටිස්ගේ නිගමනත් නිරීක්ෂණ ඇසුරෙන් අනුමාන කරපු ඒවා. ඒ මන්දාකිණි වලට ඇති දුර මැනීමට ක්‍රමයක් කර්ටිස් දැනගෙන හිටියේ නැහැ. විශ්ව පරිමාණයේ රූලරයක් හීබර් කර්ටිස් සතුව තිබිණේ නැහැ.
හීබර් කර්ටිස් මේ නිරීක්ෂණ කරන වකවානුවේම හාවඩ් විශ්ව විද්‍යාලයේ හෙන්රියාටා ස්වෝන්-ලෙවිට් (Henrietta Swann - Leavitt) නම් කාන්තාවක් සුවිශේෂී සොයාගැනීමක් සිදුකළා. ඇය විසින් සුවිශේෂී ආකාරයේ විචල්‍ය තාරකා වර්ගයක් හඳුනාගෙන තිබුණා. සෙෆීඩ් විචල්‍ය තාරකා (Cepheid Variable Stars) නමින් හැඳින්වූ මේවායේ විචල්‍ය කාල පරාසය (Period) හා ඒවායේ දීප්තිය (Luminosity) අතර සම්බන්ධතාවයක් සොයාගැනීමට ඇයට හැකිවුණා.
වඩා දීප්තිමත් සෙෆීඩ් තාරකාවක විචල්‍ය කාලය මාස ගණනක් වන බවත් දීප්තියෙන් අඩු එවැන්නක එය දින ගණනක් බවත් ඇය නිරීක්ෂණය කළා. තාරකාවක අපට පෙනෙන දීප්තිය (Apparent Magnitude) හා එහි විචල්‍ය කාලය මැන ඒ ඇසුරින් එහි සැබෑ දීප්තිය (Absolute magnitude) ගණනය කිරීමටත් ඒ ඇසුරින් එම තාරකාවට ඇති දුර ගණනය කිරීමටත් ක්‍රමයක් ඇය ව්‍යුත්පන්න කළා.
හෙන්රියාටා ලෙවිට්ගේ මෙම සෙෆීඩ් තාරකා ඇසුරෙන් ඒවාට ඇති දුර ගණනය කිරීමේ ක්‍රමය මුලින්ම ප්‍රායෝගිකව භාවිතා කළ අයෙක් කැලිෆෝනියාවේ මවුන්ට් විල්සන් නිරික්ෂකාගාරයේ සේවය කළ හාලෝ ෂැප්ලි (Harlow Shapley).
ඇමෙරිකාවේ මිසූරි විශ්වවිද්‍යාලයෙන් තාරකා විද්‍යාව පිළිබඳ උපාධියත් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියත් සම්පූර්ණකළ ෂැප්ලි ඒ දිනවල අලුතින්ම ඉදිවුණු මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ රැකියාවට යොමුවුණා.
එහිදී ඔහු සෙෆීඩ් තාරකා භාවිතයෙන් අපගේ ක්ෂීරපථයෙහි පරිවාර තාරකා පොකුරු (gobular clusters) වලට ඇති දුර ගණනය කළා. මෙහිදී ෂැප්ලි අපගේ ක්ෂීර පථයේ වපසරිය ආලෝක වර්ෂ ලක්ෂයක් පමණ වන බවට ගණන් බැලුවා. මෙතක් කල් අප අනුමාන කළේ ක්ෂීර පථයේ වපසරිය අලෝක වර්ෂ තිස්දහසක් පමණ වන බව.
මීට අමතරව ෂැප්ලි තවත් වැදගත් සොයාගැනීමක් සිදුකළා. අපගේ සූර්‍යයා පිහිටා ඇත්තේ ක්ෂීරපථයේ එක් බාහුවක, එහි කේන්ද්‍රයේ සිට තුනෙන් දෙකක් පමණ වන්නට වූ දුරකින් බව ඔහු ගණනය කළා. මෙතෙක් කලයක් අප සිතා සිටියේ අපගේ සූර්‍යයා ක්ෂීරපථයේ මධ්‍යයේ පිහිටන බව. වසර සිය ගණනකට පෙර සූර්‍ය ග්‍රහ මණ්ඩලයේ මධ්‍යයේ පොළව නොපිහිටන බව අවබෝධ වුණාක් මෙන් අපගේ මන්දාකිණියේ අප මධ්‍යයේ නොව කෙළවරක වෙසෙන බව තහවුරු වුණා.
ෂැප්ලි මේ ගණනය කිරීම් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේ 1918දී. මේ අනුව 1918 තාරකා විද්‍යාවට වැදගත් වර්ෂයක් වුණා. විශ්වයේ වපසරිය තුන්ගුණයකය වඩා විශාල වුණා. අපෙගේ හිරු ක්ෂීරපථයේ මුල්ලකට අතුගා දමන්නට සමත් වුණා. හාලෝ ෂැප්ලි යුගයේ තාරකා විද්‍යාවේ සුපිරි තරුව බවට පත්වුණා.
හාලෝ ෂැප්ලිගේ මෙම සොයාගැනීමත් සමග විශ්වයේ පරිමාණය සම්බන්ධ හීබර් කර්ටිස් ඇතුලු පිරිස විශ්වාස කළ galaxy island මතයට වැදුණේ මරු පහරක්. ෂැප්ලි විශ්වාස කළේ අපගේ විශ්වය ක්ෂීරපථයෙන් පමණක් සමන්විත බව. මෙම මතය big universe ලෙස ප්‍රසිද්ධියට පත්වුණා. අතීතය පිළිබඳ විස්තර සපයන්නන්ට අනුව මෙම galaxy island හා big universe මත දරන්නන් අතර බොහෝ තර්ක ඇති වූ බව සඳහන්. 1920දී වොෂින්ටන්හිදී මේ මත අතර මහා විවාදයක් හටගත් බවත් කියවෙනවා.
සර්පිලාකාර මන්දාකිණි දහස් ගණනක් නිරීක්ෂණය කර තිබූ, එමෙන්ම ඒවා අපගේ ක්ෂීරපථයට බොහෝ දුරින් පවතින බව සිතූ, galaxy islands මතය දැරූ හීබර් කර්ටිස් එම මන්දාකිණි වලටඇති දුර ගණනයට හෙන්රියාටා ලෙවිට් ගේ සෙෆීඩ් තාරකා ක්‍රමය භාවිතයට ගත්තේ නැහැ. ඒ පිලිබඳව ඔහු නොදැනුවත් වුණාද එයට අකැමැත්තක් තිබුණේදැයි සඳහන් වන්නේ නැහැ.
කොහොම වුණත් ඔහුට පිට්ස්බර්ග්හි ඇලෙගෙනි නිරීක්ෂකාගාරයේ අධ්‍යක්ෂක ධූරයට ඇරයුම් ලැබී තිබුණා. මේ යුගයේ පෙන්සිල්වේනියාව වානේ කර්මාන්තශාලා බහුලව ක්‍රියාත්මකවූ පෙදෙසක්. ඒවායෙන් නිකුත්වූ ධූමයෙන් පිට්ස්බර්ග් අහස නිරන්තරයෙන්ම වැසී තිබුණා. ඒනිසා කර්ටිස්ට එයින්පසු ලිසිම දිනක පැහැදිලි අහසක් නිරික්ෂණය කිරීමට හැකිවුණේ නැතිලු.
විශ්වය පිළිබඳව අපගේ නෙත් විවර කිරීමට හීබර් කර්ටිස්ට ලැබුණු අවස්ථාව ඔහු එසේ අහිමි කරගන්නවා. එදා මෙදා තුර මිනිසා නිපදවූ වැදගත්ම කාලයන්ත්‍රය කර්ටිස් අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස නම්කරගැනීමට තිබූ අවස්ථාව එසේ ඔහුට අහිමිවෙනවා.
හාලෝ ෂැප්ලි, ඔහු සෙෆීඩ් තාරකා පිළිබඳ විශේෂඥයා. ඔහු කර්ටිස්ගේ නිරීක්ෂණ පිළිබඳව හොඳින් දැන සිටියා. කර්ටිස් සඳහන් කල දහස් ගණනක් සර්පිලාකාර මන්දාකිණිවල සෙෆීඩ් තාරකා සෙවීමට ඔහුට හැකියාව තිබුණා. නමුත් ඔහු තමාගේ big universe මතය වෙනස් කරගැනීමට මඳක්වත් නම්‍යශීලී වුණේ නැහැ.
මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ කියැවෙන කටකතාවක් තියෙනවා. ෂැප්ලි යටතේ සේවය කළ එක් ආධුනික තාරකා විද්‍යාඥයෙක් සර්පිලාකාර මන්දාකිණියක විචල්‍ය තාරකාවක් නිරීක්ෂණය කළාලු. ඔහු එය ජායාරූප පුවරුවේ සලකුණු කරගෙන ෂැප්ලි වෙත රැගෙන ගියාලු. නමුත් ෂැප්ලි එය විචල්‍ය තාරකාවක් නොවීමට හේතු දුසිමක් පමණ කියා ඒ පුවරුව ඔහුගේ ලේන්සුවෙන් මකා දැම්මාලු.
හාලෝ ෂැප්ලි තමාගේ big universe මතවාදයට කෙතරම් පක්ෂග්‍රාහීව සිටියේද යත් එයට තර්ජනයක් වියහැකි කුඩා තර්කයකටවත් සවන්දීමට අකමැති වුණාලු. කොහොම වුණත් ෂැප්ලිටත් විශ්වය අප වෙත විවර කිරීමට ලැබුණ අවස්ථාව අහිමිවෙනවා. ෂැප්ලිට ෂැප්ලි අභ්‍යවකාශ දුරේක්ෂය ලෙස තමාගේ නම අමරණීය කරගැනීමට හැකිවෙන්නේ නැහැ.
මතවාද දෙකක්, නිරීක්ෂණ දහස් ගණනක්, එක් ගණිත ක්‍රමයක් වඩාත් හොඳ නිරීක්ෂකයෙක්ට අවස්ථාවක් සලසා දී තිබුණා. අපගේ කථා නායකයා එඩ්වින් හබල්ගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ මේ යුගයේදී.
මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ අධ්‍යක්ෂක ජෝජ් එලරි (George Ellery) සැමවිටම තමාගේ නිරීක්ෂකාගාරයට දක්ෂ නිරීක්ෂකයින් බඳවාගැනීමට කැමැත්තක් තිබූ අයෙක්. චිකාගෝ විශ්ව විද්‍යාලයේ එඩ්වින් හබල්ගේ ආචාර්ය නිබන්ධනය පිළිබඳව ඔහු දැන සිටියා. ඔහු හබල්ට මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ රැකියාවට ආරාධනා කළා. නමුත් ආචාර්‍ය උපාධිය නිමකර තිබූ හබල් පළමුවන ලෝක යුද්ධයේ යුධවැදීමට හමුදාවට බැඳීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් යුද්ධ අවසන්කොට නැවත පැමිණෙන විට හබල්ට විල්සන් නිරීක්ෂකාගාරයේ රැකියාවක් ලබාදීමට එලරි පොරොන්දුවී තිබුණා.
1919දී ලෝක යුද්ධය අවසානයේ හමුදාවෙන් විශ්‍රාම ගත් හබල් මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයට බැඳුනා. ඒ වනවිට තාරකා විද්‍යාඥයින්ගෙන් වඩාත්ම ප්‍රසිද්ධ වුයේ හාලෝ ෂැප්ලි. මේ නිසා විල්සන් නිරීක්ෂකාගාරයේ මුල්වසර කිහිපයේ හබල්ට සැමවිටම ෂැප්ලිගේ සෙවණල්ලට වසන්වන්නට සිදුවුණා. මේ වසර දෙක තුළ විල්සන් නිරීක්ෂකාගාරය තුළ හබල්ගේ ක්‍රියාකාරකම් එතරම් කැපී පෙනුණේ නැහැ.
නමුත් 1921 දී හාලෝ ෂැප්ලි හාවඩ් විශ්වවිද්‍යාලයේ නිරීක්ෂකාගාරයේ අධ්‍යක්ෂක ධූරයට පත්ව මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයෙන් ඉවත්ව ගියා. හීබර් කර්ටිස් විසින් නිරීක්ෂණය කරන ලද සර්පිලාකාර මන්දාකිණි පිලිබඳව හබල්ගේ අවධානය යොමුවුණේ එයින් පසුවයි.
සමකාලීනයන් පවසන ආකාරයට එඩ්වින් හබල් යනු සංකීර්ණ පුද්ගලයෙක්. ඇමෙරිකාවේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපන් හබල්ගේ පියා රක්ෂණ සමාගමක සේවය කළ අයෙක්. කුඩාකළ සිට ඔහුගේ කැමැත්ත තිබුණේ තාරකා විද්‍යාවට. මේ නිසා තාරකා විද්‍යාව ඉගැනීමට ඔහු ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. 1910 දී ඔහු ඔහුගේ උපාධිය සම්පූර්ණ කර ආචාර්‍ය උපාධිය සඳහා ඉගෙනගත්තා.
හබල්ගේ පියා හබල් තාරකා විද්‍යාව ඉගෙනගන්නවාට එතරම් කැමැත්තකින් සිට නැහැ. ඔහුගේ බලාපොරොත්තුව වුණේ තම පුත්‍රයා නීතිය විෂයෙන් ඉදිරියට යනවාට.
1913දී සිය පියා හදිසියේ අභාවයට පත්වීමත් සමඟ හබල් සිය පියාගේ සිහිනය සැබෑ කිරීමට සිතා තාරකා විද්‍යාව අතහැර නීතිය හැදෑරීමට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙනවා. එහිදීත් හබල් කැපීපෙනෙන ශිෂ්‍යයෙක් වූ බවයි පැවසෙන්නේ.
නීති උපාධිය අවසන් කර හබල් නැවත ඇමෙරිකාවට පැමිණෙන්නේ වෙනස්ම පුද්ගලයෙක් ලෙස. සුපුරුදු ඇමෙරිකානු උච්චාරණය අතහැර බ්‍රිතාන්‍ය උච්චාරණයට ඔහු හුරුවෙනවා. නිතර තේ පානය කරන පයිප්පයක් හැමවිටම මුවේ රඳවාගත් අයෙක් බවට පත්වෙනවා.
නීති උපාධිය සම්පූර්ණ කර එංගලන්තයෙන් පැමිණෙන හබල් සිය රැකියාව ලෙස තෝරාගන්නේ ගුරුවෘත්තිය. ඔහු ඉලිනොයිස් හි උසස් පාසැලේ වසර තුනක් භෞතික විද්‍යා හා ස්පාඤ්ඤ භාෂා ගුරුවරයෙකු ලෙස සේවය කරනවා.
අවසානයේ නැවතත් සිය ළදරු අවධියේ සිට කැමත්ත වූ තාරකා විද්‍යාව වෙත හබල් යොමු වෙනවා. චිකාගෝ විශ්වවිද්‍යාලයේදී තමා මගදී අතහැරගිය ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ඔහුට හැකිවෙනවා. එහිදී ආචාර්‍ය නිබන්ධනය සඳහා ඔහු හදාරන්නේනේ සර්පිලාකාර මන්දාකිණි පිළිබඳව. අචාර්‍ය උපාධිය අවසන් කරනවිට ඔහු සර්පිලාකාර මන්දාකිණි පිළිබඳව විශේෂඥයෙක් බවට පත්වෙනවා.
හබල්ගේ සමකාලීනයන් පවසන ආකාරයට හබල් තරමක් ආඩම්බරකාර පුද්ගලයෙක්. ඔහු සැම විටම තමා නීතිය අතහැරියේ තාරකා විද්‍යාව හැදෑරීම වෙනුවෙන් යැයි කීවාලු. නමුත් ඔහු කිසිදිනක නීතිය සම්බන්ධ රැකියාවක් නම් කර තිබුණේ නැහැ.
ආචාර්‍ය උපාධිය ලබාගෙන පළමු ලෝක යුද්ධයේද යුධ වැදී පැමිණෙන හබල්ව මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ රැකියාවට බඳවා ගන්නවා. ඒ 1919 සැප්තැම්බර් මස.
මේ සමය විල්සන් නිරීක්ෂකාගාරයටද සුවිශේෂී සමයක්. එවකට ලොව විශාලතම දුරේක්ෂය වූ අඟල් සියයේ දුරේක්ෂයේ (Hundred inch telescope) වැඩ අවසන් වන්නේ හබල් විල්සන් නිරික්ෂකාගාරය වෙත පැමිණීමට සති කිහිපයකට පෙර.
විල්සන් නිරීක්ෂකාගාරයේදී හබල් සිය වැඩකටයුතු ආරම්භ කළේ මේ ආකාරයට. ඔහු සිය නිරීක්ෂණ කටයුතු වලට විල්සන් නිරීක්ෂණාගාරයේ අලුත්ම අඟල් සියයේ දුරේක්ෂය මෙන්ම අඟල් හැටක් දිග හුකර් (Hooker) නම්වූ දුරේක්ෂයද භාවිතා කළා. මේ දුරේක්ෂ වලින් පින්තූර ලබාගන්නේ ජායාරූප පුවරුවකටයි. මේ සඳහා විනාඩි 30-40ක් පමණ ආලෝකය ජායාරූප පුවරුව මතට අනාවරණය විය යුතුයි. එසේ ලබාගත් ජායාරූප පුවරු අංකනය කොට වර්ගීකරණය කරනු ලැබුවා. ඒ සෑම අංකයට අදාල සටහන් හබල් විසින් ක්‍රමවත්ව සිය සටහන් පොතේ සටහන් කරනු ලැබුවා. එයින් පසුව අහසේ වෙනත් ස්ථානයක් නිරීක්ෂණයට දුරේක්ෂය යොමුවුණා.
කැලිෆෝනියාවේ රෑ අහස හැමදාම එකාකර වූයේ නැහැ. වර්ෂාව, වලාකුළු, සඳ එළිය වැනි හේතූන් නිසා අහස නිරීක්ෂණය කළහැකි දින ගණන සීමා වුණා. මේ ආකාරයට වසර තුනකට ආසන්න කාලයක් අහසේ විවිධ ස්ථාන නිරීක්ෂණයට ලක්කරමින් හබල් සර්පිලාකාර මන්දාකිණි හා විශ්වය අතර සම්බන්ධතාවය සොයාගැනීමට උත්සාහ කළා.
සර්පිලාකාර මන්දාකිණියකින් සෙෆීඩ් තාරකාවක් සොයාගැනීම මෙම සබඳතාවය විසඳිය හැකි ආකාරය බව හබල් විශ්වාස කළා.
මේ වනවිට 1923 වසරේත් මාස නවයක්ම ගෙවීගිහින්. මේ වසරට පමණක් හබල් රාත්‍රී 47ක් සර්පිලාකාර මන්දාකිණි සොයමින් කල් ගත කරලා.
1923 ඔක්තෝබර් 04 වනදා රාත්‍රියත් එලඹුණා. එදා අහස ඒතරම් පැහැදිලි වුණ දවසක් නොවුණා. නමුත් හබල් ඔහුගේ වැඩකටයුතු ආරම්භ කළා.
එදින හබල්ගේ අවධානය යොමුවුණේ M32 නමින් හැඳින්වෙන සුප්‍රකට ඇන්ඩ්‍රොමීඩා වළාවේ පරිවාර නෙබියුලාවක් වෙත. (මෙයිසියර් අංකනයෙන් M31 ඇන්ඩ්‍රොමීඩා වළාවටත් M32 එහි පරිවාර නෙබියුලාවටත් යොදාගනී).
ආලෝක තත්වය එතරම් හොඳ නොවූ නිසා හබල් ජායාරූපය සඳහා විනාඩි 40ක්ම යොදාගත්තා.M32 පිළිබඳ සටහන් තබාගත් ඔහු දුරේක්ෂය අංශක දශම ගණනක් සීරු මාරුකළා. එවර ඔහුගේ ඉලක්කය වුණේ ඇන්ඩ්‍රොමීඩා වළාව.
M31 නොහොත් ඇන්ඩ්‍රොමීඩා වළාව 1920දී තාරකා විද්‍යාඥයින් අතර පැවති මහා විවාදයේදී නිරන්තරයෙන් කතාබහට ලක්වූවක්. මේ නිසා බොහෝ නිරීක්ෂකයින් මෙන්ම හබල්ද ඇන්ඩ්‍රොමීඩා කෙරෙහි වැඩි අවධානයක් යොමුකළා.
අහස නැවතත් ක්‍රමක්‍රමයෙන් අපැහැදිලි වෙන්නට පටන් ගත්තා. නමුත් හබල් සිය නිරික්ෂණය දිගටම කරගෙන ගියා. අපැහැදිලි අහසෙහි දුර්වලව පෙනන ඇන්ඩ්‍රොමීඩා වළාවෙහි එක් තැනක කුඩා ආලෝක ලපයක් හබල් නිරීක්ෂණය කළා.
වසර ගණනාවක් තිස්සේ ලොව විශාලතම දුරේක්ෂය පරිහරණය කළ හබල් මෙයට පෙරද මෙවන් ආලෝක ලප දැක තිබුණා. ඇන්ඩ්‍රොමීඩා වළාවෙහි මෙවන් නෝවී පිපිරුම් හබල්ට අලුත් අත්දැකීමක් වුණේ නැහැ. නමුත් ඔහු තවත් විනාඩි 40ක කාලයක් වැයකොට ජායාරූප පුවරුවක් ඇන්ඩ්‍රොමීඩා වෙත නිරාවරණය කළා.
සුපුරුදු ලෙස ඔහු ජායාරූප පුවරුව අංකනය කළා. මෙම පුවරුවට ලැබුන අංකය සුප්‍රකට H331H. මෙහි පළමු H අකුරෙන් මෙය Hundred Inch දුරේක්ෂයෙන් ලබාගත් ජායාරූප පුවරුවක් බවත්, 331 යනු එය එමගින් ලබාගත් 331 වන ජායාරූපය බවත්, අවසාන H අකුරින් නිරීක්ෂකයා හබල් බවත් නිරූපණය කළා. මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ ජායාරූප පුවරු අංකනය සිදුවුණේ මේ ආකාරයට.
තමන්ගේ සටහන් පොතට H331H අංකනය ඇතුලත් කළ ඔහු ඇන්ඩ්‍රොමීඩා වළාවේ දුටු ආලෝක ලපය පිළිබඳව සටහනක් ඇතුළත් කළා. ඒ Novae suspected ලෙස. එයින් පසු ඔහු එදින සැලසුම් කර තිබූ මීළඟ ඉලක්කය වෙත දුරේක්ෂය යොමුකළා.
පසු දිනයේත් එනම් ඔක්තෝබර් 05දා රාත්‍රියේත් හබල් ඇන්ඩ්‍රොමීඩා වළාව නිරීක්ෂණය කළා. මේ සඳහා ඔහු යොදාගත්තේ කලින්දා රාත්‍රියේ යොදාගත් H331H ජායාරූප පුවරුවමයි. එදින ඔහු කලින්දා රාත්‍රියේ දුටු කුඩා ආලෝක තිත තරමක් තීව්‍ර වී ඇති බව දුටුවා. මේ ආලෝක තිත නෝවාවක් බව හබල්හට තහවුරු වුණා. සටහන් පොතේ කලින්දා තැබූ සටහන කපාහැරි ඔහු Novae confirmed ලෙස සටහන් කළා.
පසුදින එනම් 1923 ඔක්තෝබර් 6 වනදා උදෑසන හබල් විල්සන් නිරීක්ෂකාගාරයේ සිය කාර්‍යාලයේදී H331H පුවරුව නිරීක්ෂණය කළා. ඔහු නිරීක්ෂකාගාර පුස්තකාලයෙහි වූ ඇන්ඩ්‍රොමීඩාවේ කලින් ලබාගත් ජායාරූප පුවරු හා H331H පුවරුව සසැඳුවා. එහිදී හබල් නෝවී කිපිපයක්ම හඳුනා ගත්තා. ඒවායෙන් දෙකක් මින් පෙර කිසිදා නොදුටු ඒවා.
හබල් යනු තියුණු නිරීක්ෂකයෙක්. H331H පුවරුව අනෙකුත් ජායාරූප හා සසඳද්දී නෝවී වලට අමතරව වූ තවත් එක් ඉතා කුඩා ආලෝක ලපයක් හබල්ගේ තියුණු ඇසට හසුවුණා. ජායාරූපයෙන් ජායාරූපයට එහි තීව්‍රතාව වෙනස් වන බව ඔහු නිරීක්ෂණය කළා.
පැය ගණනක් ජායරූප පුවරු සීරුවෙන් පරීක්ෂා කළ හබල්හට එය විචල්‍ය තාරකාවක් බව අවබෝධ වුණා. වසර ගණනාවක් තිස්සේ සර්පිලාකාර මන්දාකිණි වල හබල් සොයමින් සිටියේ එවැන්නක්.
මෙම සොයාගැනීමෙන් හබල් ඉමහත් උද්දාමයට පත්වුණා. ඒ බව ඔහු ඔහුගේ අත් අතුරින් විචල්‍ය තාරකාවක් (variable star) යන්න නිරූපණය වන ලෙස රතු පැහැ තීන්තෙන් VAR! ලෙස යෙදූ සටහනෙන් තහවුරු වෙනවා. සුප්‍රසිද්ධ VAR! ප්ලේට් එක නිර්මාණය වුණේ ඒ ආකාරයට.
සර්පිලාකාර මන්දාකිණියක විචල්‍ය තාරකාවක් හබල් සොයාගෙන තිබුණා. මන්දාකිණි හා විශ්වය අතර සම්බන්ධතාවය විසඳීමේ පළමු පියවර හබල් තබලා.
නමුත් ඇන්ඩ්‍රොමීඩාවේ විචල්‍ය තාරකාවක් සොයාගත් පමණින් ප්‍රශ්ණය නොවිසඳෙන බව හබල් දැන හිටියා. ඇන්ඩ්‍රොමීඩාව වෙත ඇති දුර ගණනය කිරීමට හෙන්රියාටා ස්වෝන් ගේ ක්‍රමය පාවිච්චියට ගැනීමට නම් මේ විචල්‍ය තාරකාව සෙෆීඩ් වර්ගයේ එකක් වියයුතුයි. මීලඟ මාස කිහිපය හබල් වැය කළේ ඒ වෙනුවෙන්.
ඇන්ඩ්‍රොමීඩාවේ හබල් සොයාගත් විචල්‍ය තාරකාව variable star 1 නොහොත් V1 ලෙස නම් වුණා. 2024 ජනවාරි හා පෙබරවාරි මාසවල තාරකාවේ දීප්තිය හබල් ප්‍රස්තාරගත කළා. 2024 පෙබරවාරි 5,6,7 දිනවල එහි තීව්‍රතාවය සීග්‍රයෙන් වැඩිවන බව හබල් නිරික්ෂණය කළා. මේ දින තුනේදී මෙහි ආලෝක තීව්‍රතාවය (apparent luminosity) ඒකක එකකින් පමණ වැඩිවී තිබුණා.
මේ නිරීක්ෂණ අනුව V1 සෙෆීඩ් වර්ගයේ විචල්‍ය තාරකාවක් බවත් එහි විචල්‍යතාව (period) දින 31.415ක් බවත් හබල් ගණන් බැලුවා. හබල් සොයාගත් V1 තාරකාව සෙෆීඩ් වර්ගයේත් දුර්ලභ එකක් වන බව හබල් සිතුවා. එය අවම වශයෙන් අපගේ හිරු මෙන් දහස් ගුණයක්වත් ආලෝකමත් එකක් වියහැකි බව හබල් ගණන් බැලුවා.
මේ සමයේ සිටි සෙෆීඩ් තාරකා විශේෂඥයා හාලෝ ෂැප්ලි. ක්ෂීරපථයේ පළල මෙන්ම එහි අපගේ සූර්‍යයාගේ ස්ථානය ගණනය කළ විද්වතා ෂැප්ලි. එමෙන්ම big universe මතවාදයටද වැඩිම දායකත්වයක් ලැබුණේ ෂැප්ලිගෙන්.
කොහොම වුණත් විශ්වයේ එකම මන්දාකිණිය ක්ෂීරපථය බවත් අනෙකුත් සර්පිලාකාර වස්තු සියල්ල එහි පරිවාර වස්තු බවට වූ ෂැප්ලිගේ මතය හබල් පිළිගත්තේ නැහැ. ඔහුගේ මතවාදය වඩාත් බර වූයේ island universe මතවාදයට.
මේ හේතුවෙන් විල්සන් නිරීක්ෂකාගාරයේ සේවය කරන කාලයේ වුවත් හාලෝ ෂැප්ලි හා එඩ්වින් හබල් අතර යම් අභ්‍යන්තර මතවාදයක් පැවතුණ බව සමකාලීනයන් කියනවා. එහෙම වුණත් රාජකාරීමය වශයෙන් හබල් හා ෂැප්ලි අතර තිබුණේ අතිමහත් අන්‍යොන්‍ය ගෞරවයක්. හබල්ට ෂැප්ලිගේත් ෂැප්ලිට හබල්ගේත් උපකාර අවශ්‍ය වුණා. ඒ යුගයේ ලොව විශාලතම දුරේක්ෂය තිබුණේ හබල්ගේ අණසක යටතේ. අනික් අතට ලොව විශාලතම තාරකා ජායාරූප පුවරු එකතුව තිබුණේ හාලෝ ෂැප්ලි යටතේ පැවතුණු හාවඩ් විශ්වවිද්‍යාල නිරීක්ෂකාගාරයේ පුස්තකාලය සතුව. මේ නිසා හබල් හා ෂැප්ලි අතර නිරන්තරයෙන්ම ලිපි හුවමාරු වුණ බවයි පැවසෙන්නේ.
සෙෆීඩ් තාරකා ඇසුරෙන් ක්ෂීරපථයේ වපසරිය සෙවීමට ෂැප්ලි යොදාගත් ක්‍රමයම භාවිතයෙන් හබල් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියට දුර ගණනය කළා. හබල්ගේ ගණනය කිරීම් වලට අනුව එය ආලෝක වර්ෂ මිලියනයක්. මේ අගය ක්ෂීරපථයේ පරිමාණය විශාල වශයෙන් ඉක්මවා ගිය අගයක්. මේ අනුව ඇන්ඩ්‍රොමීඩා වළාව අපගේ ක්ෂීරපථයෙන් පරිබාහිරව පිහිටන්නක් බව තහවුරු වුණා.
(වඩා නිරවද්‍ය වර්තමාන ගණනය කිරීම් වලට අනුව මේ දුර ආලෝක වර්ෂ මිලියන දෙක හමාරකට සුළු වශයෙන් වැඩිබවත් මෙහිදී සඳහන් කළ යුතුයි.)
හබල් සිය සොයාගැනීම පිළිබඳව ෂැප්ලි වෙත ලිපියකින් දන්වා යැවුවා. එය කියැවූ ෂැප්ලි සිය සගයින් ඉදිරිපිටදී ඒ ලිපිය ඔසවා "Here is the letter that has destroyed my universe/ මේ තිබෙන්නේ මගේ විශ්වය විනාශ කළ ඒ ලිපිය" යනුවෙන් පැවසූ බව සඳහන්. මෙතැනින් ඉදිරියට big universe මතවාදයට පැවැත්මක් නොවන බව ෂැප්ලි දැන සිටියා. තාරකා විද්‍යාවේ ඔටුන්න හබල් තමාගෙන් උදුරාගත් බව ෂැප්ලිට අවබෝධ වුණා.
සිය සොයාගැනීම කෙතරම් වැදගත් වුණත් එය හැකි ඉක්මනින් පළකිරීමට හබල් උනන්දු වූයේ නැහැ. හබල් පිලිබඳව දන්නා අය පවසන්නේ ඔහු පරිපූර්ණත්වය (perfection) අගය කළ අයෙක් බවයි. දෝෂ සහිත පර්යේෂණ පත්‍රිකාවක් පළ කිරීමට ඔහු ඉතාම අකමැති වූ බව සඳහන්.
තමාගේ සොයාගැනීම පිලිබඳව සැකයක් හබල් තුළ ඇතිවීමට හේතුවුණේ විල්සන් නිරීක්ෂකාගාරයේම සේවය කළ වෙනත් තාරකා විද්‍යාඥයෙක් හබල්ගේ ගණනය කිරීම් පිළිබඳව පහළ කළ සැක සංකා. ඒඩ්‍රියන් වැන් මනෙන් (Adrien Van Mannen) නම්වු ඔහු ක්ෂේත්‍රය තුළ ගෞරවාදරය දිනාගත් අයෙක්. ඔහු පැවසූ පරිදි සර්පිලාකාර මන්දාකිණි කරකැවෙන ආකාරය ඔහු නිරීක්ෂණය කර තිබුණා. මන්දාකිණි වල මෙවන් චලිතයක් නිරීක්ෂණය කිරීමට නම් ඒවා පොළවෙන් එතරම් දුරකින් පිහිටන ඒවා විය නොහැකි බව වැන් මනෙන්ගේ තර්කය වුණා. වැන් මනෙන්ගේ නිරීක්ෂණ දෝෂ සහගත බව හබල් හට වැටහුණත් එය පැහැදිලි කිරීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා වැන් මනෙන්ගේ සැකය විසඳෙන තෙක් හබල් සිය පර්යේෂණය පළකිරීම කල්දැමුවා.
හබල්ගේ සොයාගැනීම තාරකා විද්‍යාවේ ඇති කළහැකි පෙරළිය පිළිබඳව හොඳින් දැන සිටි ඇමෙරිකානු තාරකා විද්‍යා සමාජයේ (American Astronomy Society) ප්‍රධානී හෙන්රි නොරිස් රසල් හබල්ගේ පර්යේෂණ පත්‍රිකාව ඔවුනගේ මීළඟ සැසිවාරයේදී පළකරන ලෙස හබල්ට බල කළා.
අවසානයේ 1925 ජනවාරි පළමුවැනිදා වොෂින්ටනයේ පැවති ඇමෙරිකානු තාරකා විද්‍යා සමාජ සැසිවාරෙයේ හබල් විසින් රචිත පර්යේෂණ පත්‍රිකාව එළිදක්වනු ලැබුවා. මෙය ඉදිරිපත් කිරීමට හබල් වොෂින්ටනයට පැමිණ සිටියේ නැහැ. එය කියවන ලද්දේ නොරිස් රසල් විසින්.
කෙසේ වෙතත් මේ පර්යේෂණ පත්‍රිකාව තාරකා විද්‍යාවේ පෙරැළියක් ඇතිකළා. ක්ෂීරපථය විශ්වයේ එකම මන්දාකිණිය නොවන බවත් එය මන්දාකිණි වලින් එකක් පමණක් බවත් තහවුරු වුණා. එක රැයකින් විශ්වයේ පරිමාණය අතිවිශාල වන්නට වූවා. එඩ්වින් හබල් තාරකා විද්‍යාවේ සුපිරිම තරුව බවට පත්වූවා.
හබල්ගේ ක්‍රියාකාරකම් එතනින් නැවතුණේ නැහැ. විල්සන් නිරික්ෂකාගාරයේ අඟල් සියයේ දුරේක්ෂය භාවිතයෙන් හබල් සිය පර්යේෂණ දිගින් දිගටම කරගෙන ගියා.
වර්තමානයේ හබල් වැඩි වශයෙන්ම ප්‍රචලිත විශ්වය ප්‍රසාරණය වන බව ලොවට පෙන්වා දුන් පුද්ගලයා ලෙස.
බොහොමයක් පෙළපොත්වල සටහන් වන්නේ හබල් තනිවමම විශ්වය ප්‍රසාරණය වන බව පෙන්වාදුන් ලෙසයි. නමුත් සත්‍යය එයින් බොහෝ දුරස්ථයි.
මන්දාකිණි එකිනෙකින් ඉවත්ව ප්‍රසාරණයවන බව පළමුවෙන්ම නිරීක්ෂණය කරන ලද්දේ වෙස්ටෝ මෙල්වින් ස්ලයිපර් (Vesto Melvin Slipher) හබල්ට දශකයකටත් පෙර එනම් 1912දී.
ඇරිසෝනාවේ ලොවෙල් නිරීක්ෂකාගාරයේ අඟල් 24 දුරේක්ෂයට වර්ණවලීක්ෂයක් (spectrograph) සම්බන්ධ කරගත් ස්ලයිපර් ඒ ඇසුරින් ඇන්ඩ්‍රොමීඩා වළාවේම වර්ණාවලියක් ලබාගැනීමට සමත් වුණා. එහිදී ලද ප්‍රතිඵල අනුව ඇන්ඩ්‍රොමීඩාවේ ඩොප්ලර් ආචරණය ගණනය කළ ස්ලයිපර් ඇන්ඩ්‍රොමීඩාව තත්පරයට කිලෝමීටර 300ක වැනි වේගයකින් පොළව දෙසට ඇදී එන බව ගණනය කළා.
මේ අගය වර්ණාවලි ඇසුරෙන් ගැඹුරු අභ්‍යවකාශයේ වස්තූන්ගේ වේගයන් ගණනය කළ තාරකා විද්‍යාඥයින් මින් පෙර කිසිවිටක දැක නොසිටි තරමේ වේගයක්. බොහෝවිට ඔවුන් දැක තිබුණේ තත්පරයට කිලෝමීටර 30-40ක පමණ වේගයෙන් චලනය වන අපගේ ක්ෂීරපථයටම අයත් තාරකා.
මේ 1912 වසර. මේ සමයේ බොහෝ දෙනා සිතාසිටියේ ඇන්ඩ්‍රොමීඩා වළාවද අපගේ ක්ෂීරපථයේම පරිවාර මන්දාකිණියක් ලෙස.
ඈත අහසේ මන්දාකිණි පෙනෙනුයේ ඉතාම දුර්වල ආලෝක ලප ලෙස. අනික් අතට වර්ණාවලීක්ෂයක් තුළදී ආලෝකය විභේදනයට ලක්වෙනවා. මේ නිසා මන්දාකිණියක වර්ණාවලියක් ලබාගැනීම ඉතාම අපහසු කාර්යයක් වුණා. එය අධික පරිශ්‍රමයක් වැයකළයුතු වගේම විශාල කාලයක් වැයවන කාර්යයක්ද වුණා. එක මන්දාකිණියක වර්ණාවලියක් ලබාගැනීමට රාත්‍රී 40ක් පමණ නොකඩවා ආලෝකය එකතු කිරීමට ස්ලයිපර්ට සිදුවූ බව සඳහන්.
1917 වනවිට මන්දාකිණි 25ක පමණ වර්ණාවලි ලබාගැනීමට ස්ලයිපර්ට හැකිව තිබුණා. ඒවා ඇසුරෙන් මන්දාකිණිවල චලනයන් සිදුවන ආකාරය ස්ලයිපර් ගණන් බැලුවා. 1918දී ස්ලයිපර් මේ පරීක්ෂණ දත්ත ඇතුලත් පත්‍රිකාව පළ කලා. බොහොමයක් මන්දාකිණි අපගෙන් ඉවත්ව යන ආකාරයත් ඇන්ඩ්‍රොමීඩා ඇතුළු කිහිපයක් පමණක් අපවෙත පැමිණෙන ආකාරයත් පිළිබඳව එහි සඳහන් වුණා.
මන්දාකිණිවල මේ චලනයන් පැහැදිලි කිරීමට හෝ ඒවායේ රටාවක් හඳුනාගැනීමට හැකියාවක් ස්ලයිපර්ට තිබුණේ නැහැ. අනික් අතට මන්දාකිණිවල වේගයන් මැන්නත් ඒවාට ඇති දුර ගණනය කිරීමට ස්ලයිපර්ට හැකියාවක් තිබුණේ නැහැ.
මන්දාකිණි වලට දුර ගණනය කිරීමේ විශේෂඥයෙකු වන හබල්ගේ ආගමනය වන්නේ තත්වය එසේ තිබියදී.
ඇන්ඩ්‍රොමීඩාව ආශ්‍රයෙන් විශ්වය පිළිබඳ සුවිශේෂී පළකිරීමෙන් පසුව හබල් වෙනත් මන්දාකිණිවල සෙෆීඩ් තාරකා සොයන්නට වුණා. 1925න් පසු වසර කිහිපයක්ම හබල්ගේ කාලය ගතවුණේ මේ සඳහා.
වෙස්ටෝ ස්ලයිපර් විසින් මන්දාකිණි වල වර්ණාවලි ලබාගෙන ඒවා ඇසුරෙන් ඒවාගේ වේග ගණනය කරමින් සිදුකළ පරීක්ෂණ පිළිබඳව හබල් හොඳින් දැන සිටියා. මන්දාකිණිවලට ඇති දුර හා ඒවායේ චලනය වන වේග අතර යම් සම්බන්ධතාවයක් පැවතියහැකි බව හබල් සැක කරා. ඔහුටද මන්දාකිණි චලනය වන වේග ගණනය කිරීමට අවශ්‍ය වුණා.
හබල්ගේ කාලය බොහෝ සෙයින් වැයවූයේ සෙෆීඩ් තාරකා ඇසුරෙන් මන්දාකිණි වලට ඇති දුර ගණනයටයි. ඒවා චලනය වන වේගයන් ගණනය සඳහා අවශ්‍ය වර්ණාවලි ලබාගැනීම සිදුකරමින් හබල්ට සහය වූයේ මිල්ටන් හමිසන් (Milton Humison)
හමිසන් සුවිශේෂී පුද්ගලයෙක්. බොහෝ තැන් වල සඳහන් වන පරිදි විල්සන් නිරීක්ෂකාගාරය ගොඩනැංවෙන සමයේ ඊට අවශ්‍ය බඩුභාණ්ඩ කඳුමුදුනට ප්‍රවාහනය කිරීමට යොදාගත් කොටළුවන් දක්කන ලද්දේ හමිසන් විසින්. නිරීක්ෂකාගාරය ගොඩනැංවීමෙන් පසුව එහි පවිත්‍රතා සේවකයෙකු ලෙස හමිසන් බඳවාගෙන තිබෙනවා. එහිදී උපකරණ හැසිරවීමට හමිසන් දැක්වූ සහජ කුසලතාවය, ඔහුගේ උනන්දුව මෙන්ම කැපවීමද දුටු හබල් ඔහුගේ පර්යේෂණ සහායකයා ලෙස හමිසන්ව යොදාගෙන තිබෙනවා.
1929 වනවිට හමිසන්ගේද උදව් ඇතිව මන්දාකිණි ප්‍රසාරණයවන රටාවන් හඳුනාගැනීමට ප්‍රමාණවත් තරම් දත්ත හබල් රැස්කරගෙන තිබුණා.
එහිදී හබල් දුටුවේ මන්දාකිණියට වූ දුර වැඩිවත්ම ඒවා අපගෙන් ඉවතට යන වේගයද වැඩිවන බවයි. එමෙන්ම පොළවේ සිට යම් දුරකින් පිහිටන මන්දාකිණියක් අපගෙන් ඉවත්ව යන වේගය මෙන් දෙගුණයක වේගයකින් පොළවේ සිට එමෙන් දෙගුණයක දුරකින් පිහිටන මන්දාකිණියක් අපගෙන් ඉවත්ව යන බවත් හබල් දුටුවා. මන්දාකිණි අපගෙන් ඉවත්ව යන වේගය ඒවාට ඇති දුරට සමානුපාතික බව හබල් ගණනය කළා.
හබල්ගේ මේ සොයාගැනීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව 1929දී Proceedings of National Academy of Science (PNAS) සඟරාවේ පලවුණා. එහිදී එය හබල් නියමය (Hubble's Law) ලෙසත් එයට අදාල ගණනය කිරීම් වලදී ලැබුණ අගය හබල් නියතය (Hubble Constant) ලෙසත් හැඳින්වුණා.
මේ පර්යේෂණ පත්‍රිකාව සැකසීමේදී හබල් විසින් සිදුකරන ලද අවැඩක් පිළිබඳවද සඳහන්.
මන්දාකිණිවල වේගය ගණනය කිරීම සඳහා අවශ්‍ය වූ වර්ණාවලි ලබාගැනීමට විශාල කාලයක් වැයවුණා. හමිසන් කෙතරම් දක්ෂයෙක් වුණත් මන්දාකිණිවල වර්ණාවලි ලබාගැනීම සිදුවුණේ ඉතාම මන්දගාමීව. මේ නිසා සිය පළකිරීම ඉක්මන් කරගැනීම සඳහා හබල් 1918දී වෙස්ටෝ ස්ලයිපර් විසින් ප්‍රකාශයට පත්කළ පත්‍රිකාවේ අඩංගු වූ සමහර දත්ත භාවිතයට ගත්තා. ඒ ස්ලයිපර්ගේ අවසරයකින් හෝ ඔහුගේ නම තම පත්‍රිකාවේ සඳහන් කිරීමකින් තොරව. හබල්ගේ මේ ක්‍රියාව පිළිබඳව සමකාලීන තාරකා විද්‍යඥයින් බොහොමයක් සිය අප්‍රසාදය පළකල බවත් සඳහන්. නමුත් ඒ යුගයේ සිටි කීර්තිමත්ම තාරකා විද්‍යාඥයා වුණු හබල් ඒවා ඒතරම් තැකීමකට ලක්කර නැහැ.
කෙසේ වෙතත් හබල් විසින් සිදුකළ මේ නිරීක්ෂණ වලට හේතුවන ක්‍රියාදාමය පැහැදිලි කිරීමට හැකියාවක් හබල්ට තිබුණේ නැහැ. විශ්වයේ ප්‍රසාරණය හේතුවෙන් මෙසේ මන්දාකිණි අපගෙන් ඉවත්ව යන බවට ඉඟියක්වත් හබල් සතු නොවුණා.
හබල් විසින් සිදුකළ මෙම නිරීක්ෂණ පැහැදිලි කළ හැකි ආකාරයේ විශ්වයේ ආකෘතියක් ඉදිරිපත් කළහැකි වූයේ බෙල්ජියානු ජාතික කතෝලික පූජකවරෙයෙක් හා භෞතික විද්‍යාඥයෙක් වුණ ජෝජස් ලෙමේට්‍රා (Georges LeMaitre) හට. හබල් සිය පත්‍රිකාව ඉදිරිපත් කිරීමට වසර දෙකකට පමණ පෙර 1927දී බෙල්ජියානු විද්‍යා සඟරාවක ලිපියක් පළකරමින් ඔහු මේ පිලිබඳව විස්තර කර තිබුණා. එහිදී ඔහු කාල අවකාශයේ ප්‍රසාරණය මන්දාකිණි අපගෙන් ඉවත්ව යෑමට හෙතුවන ආකාරය පැහැදිලි කර තිබුණා.
ලෙමේට්‍රා මේ සඳහා උපයෝගී කරගෙන තිබුණේ 1915දී ඇල්බර්ට් අයින්ස්‍ටයින් විසින් ඉදිරිපත්කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය (General Theory of Relativity) ඇසුරෙන් ගොඩනංවන ලද ආකෘතියක්.
අයින්ස්ටයින් විශ්ව ප්‍රසාරණය පිළිගත් අයෙක් නොවේ. ඔහු විශ්වාස කළේ විශ්වය ස්ථිතිකව එනම් ප්‍රසාරණයකින් හෝ බිඳවැටීමකින් තොරව පවතින්නක් බව. ගුරුත්වය හමුවේ විශ්වය බිඳවැටීම වැළැක්වීමට ඔහු Cosmological Constant නමින් පරාමිතියක් යෝජනා කළා.
නමුත් පසුකාලීනව අයින්ස්ටයින් ඔහුගේම මේ ආකෘතියට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහු එය ඔහු විසින් සිදුකළ විශාලතම අඥාණවත් ක්‍රියාව (biggest blunder) ලෙස හැඳින්වූවා.
කොහොම නමුත් අයින්ස්ටයින්ගේ නියම මත ගොඩනගන ලද ප්‍රසාරණය වන විශ්ව ආකෘතිය පිළිබඳව අයින්ස්ටයින් සමඟින් සාකච්ජාවක යෙදීමට ලෙමේට්‍රාට අවශ්‍ය වුණා. 1927දී අයින්ස්ටයින් බෙල්ජියමේ බ්‍රසල්ස්හි සම්මන්ත්‍රණයකට පැමිණි අවස්ථාවේදී අයින්ස්ටයින් හමුවු ලෙමේට්‍රා සිය ගණනය කිරීම් ඔහුට ඉදිරිපත් කළා.
ලෙමේට්‍රාගේ ප්‍රසාරණය වන විශ්ව ආකෘතිය පිලිබඳව අයින්ස්ටයින් සිය අකමැත්ත ලෙමේට්‍රාගේ මුහුණටම ප්‍රකශ කළ බවයි පැවසෙන්නේ. එහිදී අයින්ස්ටයින් ලෙමේට්‍රාට පවසා ඇත්තේ "ඔබගේ ගණනය කිරීම් නිවැරදි වියහැකියි. නමුත් විශ්වය පිළිබඳව ඔබගේ දැක්ම විකාර සහගතයි (your calculations are correct, but your physical insight of the universe is abominable)" යනුවෙන්ලු.
අයින්ස්ටයින්ගේ ප්‍රතිචාරයෙන් ලෙමේට්‍රා අධෙර්ය වී ගොස් තිබෙනවා. ඉතා නිහතමානී පුද්ගලයෙකු ලෙස පැවසෙන ලෙමේට්‍රා එයින් මතු නැවතත් සිය න්‍යායට ප්‍රසිද්ධියක් දී නැහැ.
එසේ වුවත් ලෙමේට්‍රා සිය න්‍යාය මුලින්ම පළකල බෙල්ජියම් සඟරාව පසුකාලීනව වෙනත් භාෂා වලට පරිවර්තනය වීමත් සමඟම නැවත ඒ පිලිබඳව අවධානය වැඩිවන්නට වී තිබෙනවා.
ඒ අනුව එඩ්වින් හබල් විසින් සිදුකරනුලැබූ නිරීක්ෂණ පැහැදිලි කිරීමට ජෝජස් ලෙමේට්‍රා ව්‍යුත්පන්න කළ ප්‍රසාරණය වන විශ්ව ආකෘතියට හැකි බව ප්‍රසිද්ධ වන්නට වුණා.
විශ්වය වෙත අපගේ දෙනෙත් විවරවන්නේ ඒ ආකාරයට. අදින් අවුරුදු 100කට පෙර එනම් 1923 ඔක්තෝබර් 4 වන දින රාත්‍රියේ එඩ්වින් හබල් ඇන්ඩ්‍රොමීඩා වළාවේ දුටු කුඩා ආලෝක ලපය විශ්වයේ අප විශාල දුරක් රැගෙන ගියා.
හබල් යනු තියුණු නිරීක්ෂකයෙක්. එදා රාත්‍රීයේ විල්සන් නිරීක්ෂකාගාරයේ හබල් නොසිටින්නට විශ්වය අප වෙත නිරාවරණය වීම දශක ගණනාවකින් පමාවියහැකිව තිබුණා.
කොහොම නමුත් හබල් සිය නිරීක්ෂණ පිළිබඳව ලෙමේට්‍රා ගේ ආකෘතිය කෙරෙහි ඒ තරම් විශ්වාසයක් නොදැක්වූ බව සඳහන්. එය ඒ සමයේ ඔහුගේ නිරීක්ෂණ පිළිබඳ වූ හොඳම පැහැදිලි කිරීම බව හබල් පිළිගත්තා. නමුත් විශ්වයේ අප නොදන්නා යම් භෞතික පරාමිතියක් මගින් මෙම නිරීක්ෂණ වඩා හොඳින් පැහැදිලි වේදෝ යන සැකය ඔහුගේ සිතේ සෑමවිටම තිබුණා. 1920-1930 දශක ක්වොන්ටම් යාන්ත්‍රණ පිලිබඳ න්‍යායන් එළිදැක්වුණු, එතෙක් අප දැන සිටිසමහරක් භෞතික විද්‍යා න්‍යායයන් තර්ජනයට ලක්වූ සමයක්. අනාගතයේ එවන් න්‍යායන් හේතුවෙන් තමාගේ පර්යේෂණ වාර්තාවන්ගේ ප්‍රශ්ණ ඇතිවියහැකියැයි ඔහු සෑමවිටම අනුමාන කළා.
මේ නිසාම ඔහු පර්යේෂණ පත්‍රිකා සැකසීමේදී ඉතාම ප්‍රවේශමෙන් භාෂාව හැසිරවීමට උත්සාහ කළ බව සඳහන්. ඔහු සෑමවිටම මන්දාකිණි වල ප්‍රවේගයන් පිළිබඳව සඳහන් කිරීමේදී අපට පෙනෙන ප්‍රවේගයන් යන අර්ථය ගත් apparent velocities ලෙස සඳහන් කිරීම මෙයට උදාහරණයක්. හබල්ගේ මේ පුරුද්ද 1953 ඔහු මියයන තෙක්ම පැවති බව සඳහන්.
හබල්ගේ නිරීක්ෂණ පැහැදිලි කිරීමට සමත්වූ විශ්ව ආක්‍රෘතියක් සාර්ථකව ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජෝජස් ලෙමේට්‍රා ඇගයීමට ලක්වීමට තවත් වසර 87ක් ගතවුණා. වසර 2018දී ජාත්‍යාන්තර තාරකා විද්‍යා සංගමය (International Astronomers Union/ IAU) එතෙක් කල් හබල් නියමය ලෙස හැඳින්වූ සම්බන්ධතාවය හබල්-ලෙමේට්‍රා නියමය (Hubble-LeMaitre Law) ලෙස නම් කරනු ලැබුවා. එසේ වෙතත් අදාල පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කිරීමට හබල් දත්‍ත ලබාගත් වෙස්ටෝ ස්ලයිපර්ව ඇගයීමක් මෙතෙක් සිදුවී නැහැ.
එදා මෙදා තුර මිනිසා විසින් නිපදවන ලද බලවත්ම කාලයන්ත්‍රයක් ලෙස සැලකෙන හබල් අභ්‍යවකාශ දුරේක්ෂයට සිය නම ඔබ්බවා ගැනීමට හබල්ට හැකි වුණේ ඒ ආකාරයට.
1923 ඔක්තෝබර් 4 වන දින විශ්වය අප වෙත විවර වීම ඇරඹුනා. එහි කේන්ද්‍රයේ සිටි පතාක යෝධයා එඩ්වින් හබල් බවට විවාදයක් නැහැ. නමුත් හබල් නැඟීසිටියේ ජේම්ස් කීලර්, හීබර් කර්ටිස්, හෙන්රියාටා ස්වෝන්-ලෙවිට්, හාලෝ ෂැප්ලි, වෙස්ටෝ ස්ලයිපර්, ඇල්බර්ට් අයින්ස්ටයින්, ජෝජස් ලෙමේට්‍රා වැනි අය ගොඩ නැංවූ පදනම මත සිට මවුන්ට් විල්සන් නිරීක්ෂකාගාරයේ සහ අඟල් සියයේ දුරේක්ෂයේ මිල්ටන් හමිසන් ඇතුලු ඔහුගේ සමකාලීනයන්ගේ දායකත්වයෙන් බව අප කිසිවිටක අමතක කළ යුතු නැහැ.
අමිල විමලරත්න
2023-10-04
Comments
Post a Comment