සිකුරුගෙන් උගනිමු...

සිකුරු පොළවෙ සහෝදරිය විදියට හඳුන්වන්නෙ. රෑ අහසෙ දීප්තිමත්වම පේන ග්‍රහලෝකෙ. ඉර බැස්සාමයි ඉර නගින්ඩ කලිනුයි හොඳ එලියකින් පේන ඉරබටු තරුව. ප්‍රමාණයෙන් පෘථිවියට ආසන්නව සමානයි. ස්කන්ධයෙන් පෘථිවියට මඳක් අඩුයි. ජීවය හටගන්ඩ සුදුසු ද්‍රව ජලය පවතින්ඩ ප්‍රමාණවත් තරමින් ඉර එළිය වැටෙන ගෝල්ඩිලොක් සෝන් කියන එකේ මැදම වගේ පිහිටන්නෙ සිකුරු. මේ නිසාම ආදි කාලෙ ඉඳන් සිකුරු කියන්නෙ ජීවයෙන් පිරුණ පෘථිවිය වගේ ග්‍රහලෝකයක් විදියට සැලකුවෙ. සමහරු කිව්වෙ සිකුරුගෙ ඝණ වලාකුළු ස්ථරයට යටින් ජීවයෙන් පිරිච්ච වගුරු ආශ්‍රිත බිම් වල ජනවාස තියෙනව ඇති කියල. අටසිය ගණන් වල විශාල උරග වර්ග එහෙම සිකුරු මත ජීවත් වන බවට උපකල්පන කරපු ප්‍රබන්ධ එහෙමත් ලියවිලා තිබුණා.
එක්දාස් නවසිය ගණන් වල මුල්කාලෙ වගේ මිනිස්සු බලවත් දුරේක්ෂ හදන්ඩ ගත්තා. ඒව නිසා ග්‍රහලෝක ගැන වැඩි විස්තර දැනගන්ඩ පුලුවන් වුණා. ඒ වුණත් සිකුරු ගැන එහෙම විස්තරයක් දැනගන්ඩ හැකියාවක් ලැබුණෙ නෑ. සිකුරු හැමවෙලේම සුදු පාට ඝණ වලාකුළු තට්ටුවකින් වැහිල තිබ්බ නිසා සිකුරු පෘෂ්ඨයේ හරිහමන් විස්තරයක් බලාගන්ඩ බැරිවුණා. 1950 වගේ වෙද්දි ප්‍රොපල්ෂන් තාක්ෂණේ දියුණු වෙලා ග්‍රහලෝක වලට යනා යවන්ඩ පටන් ගත්තා. සිකුරුටත් මිනිස්සු එහෙම යානා යැව්වා.
සිකුරුගෙ පෘෂ්ඨය නොපෙණෙන හින්දම සිකුරුට යවන යානා හැදුවෙ ඒ ගැන වැඩි විස්තරයක් නොදැන. අනික් අතට පනස් ගණන් වෙද්දි ඇමෙරිකාවෙයි සෝවියට් සමූහාණ්ඩුවෙයි සීතල යුද්දෙ අභ්‍යවකාශ යුද්දයක් බවටත් පත් වෙලා තිබ්බෙ. කොහොමහරි 1962දි ඇමෙරිකාවෙන් මැරීනර් 2 යානය සිකුරු වටා කක්ෂ ගත කරා . ඒ කාලෙම සෝවියට් සමූහාණ්ඩුවෙ වෙනේරා ප්‍රොජෙක්ට් එක සිකුරු වෙත යානා යැව්වා. අසාර්ථකවීම් කීපයකට පසුව වුණත් 1967දි වෙනේරා 4 යානය පළමු වතාවට සිකුරුගෙ වායුගෝලයට ඇතුල් වුණා.
වායුගෝලය තුලින් කඩාවැටෙමින් විනාස වෙන්ඩ කලින් වෙනේරා 4 සිකුරුගෙ වායුගෝලය පිලිබඳව අපට අයිඩියා එකක් දුන්නා. සිකුරුගෙ වායුගෝලයෙන් 90% කටත් වඩා කාබන් ඩයොක්සයිඩ්. 3%ක් විතර නයිට්‍රජන් වගේම සුළු ප්‍රමාණ වලින් ඔක්සිජන් සහ ජලවාෂ්පත් තියෙන බව වෙනේරා 4 කිව්වා. සිකුරුගෙන් කිලෝමීටර් 26ක් විතර ඉහළින් වායුගෝලයෙදි වෙනේරා 4 පිච්චිල විනාස වෙන්ඩ කලින් වායුගෝලයෙ රීඩින් දුන්නෙ උෂ්ණත්වය සෙල්සියස් 262ක් සහ පීඩනය පොළවෙ වායුගෝල වගේ 22ක් කියල. ඒ නිසාම අපි දැනගත්තා සිකුරු කියන්නෙ පොළව වගේ සෞම්‍ය ග්‍රහලෝකයක් නෙවේ කියලා.
සෝවියට්ල එතනින් නැවතුනේ නෑ. වෙනේරා මිෂන් තවත් ශක්තිමත්ව සහ වඩාත් හොඳින් ඩිසයින් කරල සිකුරු වෙත යවන්ඩ ගත්තා. 1970දී වෙනේරා 7 යානය සිකුරු වෙතට බැස්සුවා. ඒ පොළවෙන් යවපු යානයක් වෙන ග්‍රහලෝකෙකට බස්සපු පළවෙනි අවස්ථාව. පැරෂුට් එක ෆේල් වෙලා සිකුරුට ක්‍රෑෂ් ලෑන්ඩ් කරත් ඩැමේජ් වෙච්ච් ඇන්ටනාවෙන් පොළවට විස්තර එවන්ඩ වෙනේරා 7 සමත් වුණා..ඔහු සිකුරු මත වැඩ කරේ විනාඩි 23යි.
1975දී වෙනේරා 9 සිකුරු මත ගොඩ බෑවා. ඔහු සතුව කැමරාවක් තිබ්බා. ඒකෙන් පොළවට එවපු සිකුරුගෙ පින්තූරෙ තමයි වෙන ග්‍රහලෝකෙක පෘෂ්ඨය මතදි ගත්ත පළවෙනි පින්තූරෙ. වෙනේරා 9 ගොඩබාපු පෘෂ්ඨයෙ උෂ්ණත්වය සෙල්සියස් 485කුත් වායුගෝල පීඩනය පොළවෙ වගේ අනූ ගුණයකුත් කියල විස්තර එව්වා. වෙනේරා 9 විනාඩි 53 කින් විනාශ වුණා.
1982දි වෙනේරා 13 සිකුරු මතට ගොඩබෑවා. ඔහුට කලර් කැමරා එකක් තිබ්බා. ඒකෙන් සිකුරු මත පළවෙනි කලර් පින්තූරෙ ගන්ඩ පුලුවන් වුණා විතරක් නෙවේ එයාගෙ හයි කරල තිබ්බ මයික් එක්කින් ග්‍රහලෝකයක් මත පළමු හඬ පටිගත කරල එවන්ඩත් පුළුවන් වුණා. වෙනේරා 13 ගොඩබාපු තැන උෂ්ණත්වය සෙල්සියස් 457ක් සහ පීඩනය පෘථිවි වායුගෝල 89ක්. වෙනේරා 13 විනාඩි 127කින් විනාශ වුණා.
1983දි සෝවියට් සමූහාණ්ඩුව වෙනේරා ප්‍රොජෙක්ට් එක කන්ක්ලූඩ් කරද්දි සිකුරු කියන්නෙ මොන තරම් උෂ්ණ ශුෂ්ක සහ දුෂ්කර ලෝකයක්ද කියන්ඩ අපිට සැකයක් තිබ්බෙ නෑ. කාලයක් පොළව වගේ සෞම්‍ය ග්‍රහලෝකයක් කියල හිතන් හිටපු සිකුරු කාබන් ඩයොක්සයිඩ් වලින් හැදුණ වායුගෝලයකිනුත් සල්පියුරික් ඇසිඩ් වලාකුළු වලිනුත් පිරුණ විෂ සහිත අපායක් බවට තහවුරු වුණා.
වර්තමානයේ එහෙම වුණත් අතීතයේ සිකුරු දැනට වඩා සෞම්‍ය සුවදායී ග්‍රහලෝකයක් වෙන්ඩ ඇති කියන්ඩ සාධක තියෙනවා. 1978දී පයනියර් වීනස් යානයෙන් සිකුරුගෙ වායුගෝලයේ ඩියුටීරියම්, හයිඩ්‍රජන් අනුපාතය මැන්නා. ඒක පොළවෙ වායුගෝලයේ වගේ සිය ගුණයකටත් වඩා වැඩියි කියල හොයාගත්තා. මෙහෙම වෙන්ඩ නම් සිකුරුගෙ වායුගෝලයෙ ඩියුටීරියම් හයිඩ්‍රජන් වලට වඩා විශාල වශයෙන් වැඩිවෙන්ඩ ඕනෙ. විශ්වයෙ සුලබම ද්‍රව්‍යය හයිඩ්‍රජන් නිසා ග්‍රහලෝක නිමැවුමේදී හයිඩ්‍රජන් ඩියුටීරියම් ප්‍රමාණ පොළවෙයි සිකුරුගෙයි සමාන වෙන්ඩ ඕනෙ. මොකද එකම ධූලිවායු වලාවෙන් හැදිච්චනෙ. එහෙම නම් පසු කාලීනව සිකුරුගෙන් හයුඩ්‍රජන් විශාල ලෙස ඉවත්වෙලා තියෙනවා. තව විදියකට කිව්වොත් සිකුරු මත ඉස්සර ජලය විශාල ප්‍රමාණ වලින් තිබිල අයින් වෙලා ගිහින් තියෙනවා. සරලව කිව්වොත් අවුරුදු බිලියන ගණනකට කලින් සිකුරු මත විශාල මුහුදු තිබිලා වාෂ්ප වෙලා ගිහින් වෙන්ඩ පුලුවන්.
සමහර විට සිකුරු කියන්නෙ ජීවය හටගන්ඩ හැකියාවක් තිබ්බ පලවෙනි ග්‍රහලෝකෙ වෙන්ඩ පුලුවන්. ගෝල්ඩිලොක් සෝන් එකේ මැද තියෙන හින්දා පෘථිවියට වඩා ආරම්භයේදී සෞම්‍ය තෙත් ග්‍රහලෝකයක් වුණා වෙන්ඩ පුළුවන්. එහෙම තිබ්බ සිකුරු අද වෙද්දි අපායක් වුණේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්ණෙට පිළිතුර අපට හෙනම වැදගත්.
ඕකට පිළිතුර හරිතාගාර ආචරණය. සිංහලෙන් කියනවනම් ග්‍රීන්හවුස් එෆෙක්ට්. ඕකට හේතු වෙන්නෙ කාබන් ඩයොක්සයිඩ්, මෙතේන්, ජලවාෂ්ප වගේ හරිතාගාර වායු. ඉරඑලියෙන් එන තාපයෙන් 48%ක් විතර වායුගෝලය හරහා ඇවිත් පොළවට උරාගන්නවා. ඉතිරිවා ඉහල වායුගෝලයෙන් හරවල යවනවා. මේ පොළවට උරාගන්න තාපය නිසා පොළවෙ උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට රත්වුණ පොළවෙන් තාප විකිරණ පිටවෙලා වායුගෝලය හරහා ඉවත්වෙලා යනවා. මෙන්න මේ තාප විකිරණ අර කිව්ව හරිතාගාර වායූන් උරාගන්නවා. ඒකෙන් වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යනවා.
ජීවය හටගන්ඩ සුදුසු උෂ්ණත්වයක පෘථිවිය පවතින්ඩ ජලය ද්‍රව වශයෙන් පවත්වාගන්ඩ පෘථිවියේ මේ හරිතාගාර ආචරණය හේතු වුණා. හරිතාගාර ආචරණය හොඳ දෙයක්. නමුත් වායුගෝලයේ හරිතාගාර වායූන් ඕනෙවට වඩා වැඩි වුණොත් ඒ උරාගන්න තාප විකිරණ ප්‍රමාණය වැඩිවෙලා පෘථිවි උණ්ෂ්ණත්වය බලන් ඉද්දි වැඩිවෙන්ඩ ගන්නවා. මේක චේන් රිඇක්ෂන් එකක්. පටන් ගත්තොත් නවත්තන්ඩ බෑ. පරමාණු බෝම්බයක් වගේ තමා. සිකුරුට වෙන්නෙ ඒක. අන්තිමේට සුරලෝකෙ ඇසිඩ් වැහි වහින අපායක් වුණා.
හරිතාගාර ආචරණයට වැඩි වශයෙන් බලපාන්නෙ ජල වාෂ්ප. ඒ වුණත් කාබන් ඩයික්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් වගේ මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට නිකුත් වන වායූනුත් සැලකිය යුතු ප්‍රමාණයකින් දායක වෙනවා. අපි වායුගෝලයට මේ වායු නිකුත් කරනව වැඩි වෙද්දි ඒව හින්දම ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට මුහුදුජලය වාෂ්ප වීම වැඩි වෙනවා. වායුගෝලයට ජලවාෂ්ප එකතුවෙන එකත් වැඩිවෙනවා. ඒවත් හරිතාගාර ආචරණය බලන් ඉද්දි වැඩිකරනවා. ආන්න චේන් රිඇක්ෂන්. පොළවෙ මුහුදු ටික වාෂ්ප වෙලා යයි. පොළවෙ උෂ්ණත්වය බලන් ඉද්දි ඉහලයයි. පොළව ජීවත් වෙන්ඩ බැරි අපායක් වෙයි.
මේක දැන් ටිපින් පොයින්ට් එකට ඇවිල්ල කියලයි මට හිතෙන්නෙ. මේක ලියන්ඩ හිතුනෙත් මේ දවස් වල යුරෝපය හරහ යන හීට්වේව් එක ගැන නිව්ස් දැකලා. අපි ඉන්නෙ ක්ලයිමෙට් චේන්ජ් එකක් ආරම්භයෙ කියල සමහරු කියනවා. ඒ බවට සාක්ෂිත් මෑතක ඉඳන් දකින්ඩ ලැබෙනවා.
මෑතකදි මම දැක්කා ඔය ගැන විවාදයක් ඔස්ට්‍රේලියන් චැනල් එක්ක. එක පැත්තක ලෝක ප්‍රසිද්ධ පාටිකල් සයන්ටිස්ට් කෙනෙක් වගේම BBC එකේ වැඩසටහන් ඉදිරිපත් කරන එංගලන්ත ජාතික ප්‍රොෆෙසර් කෙනෙක්.
අනික් පැත්තෙ ඔස්ට්‍රේලියාවෙ දේශපාලකයෙක්. අර ප්‍රොෆෙසර් ඉලක්කම් කර්ව්ස් එක්ක ඉදිරිපත් කරන ෆැක්ට්ස් අර දේශපාලකය පිලිගන්නෑ. තේරෙන්නෑ නෙවේ පිළිගන්නෑ. කෙලින්ම කියනව ඕව වැඩක් නෑ කියලා. පොර කියන්නෙ එකම දේ. ක්ලයිමෙට් චේන්ජ් ඉස් අ හොක්ස්. කොහොමද එහෙම කියන්නෙ කියල නෑ. ඒක බොරුවක් කියනව විතරයි. චාට් කර්ව් ඔක්කොම බොරුලු. මට ඒක දැක්ක වෙලේම මතක් වුනේ ලංකාව. ලංකාවෙ වුනානම් එහෙම අපේ දේශපාලකයො මොනා කියයිද කියලා. ලෝකෙ කොහෙත් දේශපාලකයො එකයි කියල මට හිතුනා.
අපි ෆොසිල ඉන්ධන දවන සීග්‍රතාවය දවසින් දවස වැඩි වෙනවා. මේ වැඩි වෙන රේට් එකේ දිගටම ගියොත් තව වැඩි කාලයක් නොගිහින් අපි අර කිව්ව ටිපින් පොයින්ට් එකට එයි කියල හිතෙනවා. මේ අපි දකින්නෙ ඒකෙ ආරම්භක සලකුණුද කියලත් හිතෙනවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ ඔය ක්‍රියාවලිය පටන් ගත්තොත් ආයෙ සක්කරයටවත් නවත්තන්ඩ බැරි එක.
අනික් කාරණේ තමා මේක එක මිනිහෙක්ට, සමාජෙකට, ටවුමකට, රටකට තනියම පාලනය කරන්ඩ පුලුවන් දෙයක් නෙවේ.ලෝකෙ ජීවී වර්ග මිලියන ගාණක් ඇති. ඒත් මේ හැම දේකටම හේතු වෙලා තියෙන්නෙ මිනිස් ක්‍රියාකාරීකම්. ඉතින් අපි හැමෝම මේකට වග කියන්ඩ ඕනෙ. කිප දෙනෙක් නගරයක් රටක් විදියට නෙවේ. රිටර්න් එක එන්නෙ කුට්ටි පිටින් ඔක්කොටම. ලෝකෙ දියුණුවට බලශක්තිය අත්‍යවශ්‍යයි. ඒකට ෆොසිල ඉන්ධනත් අත්‍යවශ්‍යයි තමා. අපිට ආයෙ පනහ දශකෙට යන්ඩ බෑ. ඒ වුණත් අපි අපේ ක්‍රියාකාරීකම් දැනුමක් ඇතුව සැලැස්මකින් කරොත් හොඳ වෙයි.
දැනට ලෝකෙ ඇවරේජ් සර්ෆේස් ටෙම්පරේචර් එක සෙල්සියස් 14.9ක් විතර. පහුගිය සියවසට මේක සෙල්සියස් එක්කින් වගේ වැඩි වෙලා තියෙනවා. මේ රේට් එක ඩබල් වුනොත් ලෝකෙ තියන භාවිතයට ගතහැකි ජලය 14%කින් වගේ අඩු වෙනවලු. ආක්ටික් වල හිම දියවීම දහගුණයක් වෙයිලු. ශාක ස්වභාවිකව විනාශ වීම දෙගුණයක් වෙයිලු. පලදාව තුනෙන් එක්කට අඩුවෙයිලු. එතකොට ජීවීන්ට වෙන හානිය කියන්ඩ ඕන් නෑනෙ. වැඩි කල් ඕන්නෑ මේ රේට් එකේ 2050ට ගියොත් වෙන දේ ඔය.
පෘථිවිය මේ තත්වයෙන් තියාගන්නවද සිකුරුගෙ ඉරණමට පත් කරගන්නවද කියන එක අපිට බාරයි. කොහොමටත් තව අවුරුදු බිලියනයක් වගේ යද්දි ස්වභාවිකව ඉරේ ජවය වැඩිවෙලා ඔය ක්‍රියාවලිය වෙයි. ඒත් අපිට ඕන්නම් පුලුවන් ඊට ගොඩක් කලින් අපේ ක්‍රියාකාරකම් හින්ද ඕක කෘතිමව කරගන්ඩ.
හවසටයි පාන්දරටයි අහසෙ බල්බ් එකක් දැම්ම වගේ සිකුරු පේන කොට එකක් මතක තියාගන්ඩ. චේන් රිඇක්ෂන් එකක් නවත්තන්ඩ සක්කරය ආවත් බෑ කියලා.
Comments
Post a Comment